බඩඉරිගු bada irigu wagawa

බඩඉරිගු

වගාව සදහා සුදුසු ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල මහ කන්නයේ වර්ෂාපෝෂිත තත්ව යටතේ සහ යල් කන්නයේ ජල සම්පාදනය යටතේ සාර්ථකව බඩඉරිගු වගා කළ හැක. මනාව පැතිරුණු මිලි ලීටර් 500 - 600 ක් පමණ වු වගාව සාර්ථකව සිදුවීම සඳහා අවශ්‍යය. තෙත් කළාපයේ වුවද බඩඉරිගු සාර්ථකව වගාකළ හැකි අතර එම අවස්ථාවලදී පසේ ජලවහනය සඳහා සුදුසු උපක්‍රම භාවිතා කළ යුතු වේ.

වගා කරන කාලය
මාස් කන්නයේ අහස් දියෙන් වගා කරන විට ඔක්තෝබර් මාසය මුලකදී මුල්වැසි සමඟ බීජ සිටුවීම සුදුසුය. යල් කන්නයේ වගාව සඳහා ජල සම්පාදනය අත්‍යවශ්‍ය අතර බෝගයේ අප්‍රේල් මාසය තුලදී පිහිටුවීම වඩා සුදුසුය.

නිර්දේශිත ප්‍රභේද
විවෘත පරාගනය සිදුවන ප්‍රභේද

භද්‍රා
Maiza_Badra
  • තැබිලි පැහැති බීජ සහිත දින 110 - 115 අතර වයස් වු ප්‍රභේදයකි.
රුවන්
Maiza_Ruwan
  • කහ - තැඹිලි මිශ්‍ර බීජ සහිත දින 110 - 115 අතර වයස් වු ප්‍රභේදයකි.
අරුණ
Maiza_Aruna
  • කහ පැහැති දින 90 - 100 කින් අස්වනු දෙන ප්‍රභේදයක් වන අතර යල් කන්නය සඳහා සුදුසුය.
මුතු
Maiza_mutu
  • සුදු පැහැති බීජ සහිත බැවින් ආහාර කර්මාන්ත සඳහා අවශ්‍ය බඩඉරිගු පිටි නිපදවීමට සුදුසු ප්‍රභේදයකි.

මේවා වගාකර ලබාගන්නා අස්වැන්නෙන් ලැබෙන බීජ කන්න කිහිපයක් යනතෙක් නැවත වගාව සඳහා යොදාගත හැකිය.

ආනයනික ප්‍රභේද
පැසිෆික් 11 නම් දෙමුහුන් ප්‍රභේදය ගොවීන් අතර වඩාත් ප්‍රචලිතය. මින් ඉහත විස්තර කළ විවෘත පරාගනය වන වර්ග වලට වඩා 15% ත් 25% ත් අතර ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා දේ. වර්ථමානයේ මෙම බීජ කිලෝ ග්‍රෑම් 1 ක අලෙවි මිල රුපියල් 170 ක් පමණ වේ.

පස
හොද ජලවහනක් සහිත ගැඹුරු ලෝම පසක් වඩාත් සුදුසුය. පසේ පී.එච්. අගය 5 ත් 6 ත් අතර පවතින රතු දුඹුරු පස් වල මෙම බෝගය හොදින් වගාකළ හැක. පසේ සාරවත් බව වැඩි නම් ඉහල අස්වැන්නක් ලැබේ. එබැවින් හැකි සෑම විටම පසට කාබනික පොහොර යෙදීම වැදගත්ය.

කුඹුරු ඉඩම්වල වගාව
හොඳ ජලවහනයක් පවත්වාගත හැකි කුඹුරු ඉඩම් කොටස්වල පමණක් බඩඉරිගු සාර්ථකව වගා කළ හැක. විශේෂයෙන්ම යල් කන්නයේදී වී වගාව සඳහා ප්‍රමාණවත් ජල සැපයීමට ඇති නොහැකියාව මත වගා නොකර අත්හැරෙන කුඹුරු යායවල ඉහළ කොටසේ පිහිටා ඇති ලියැදි මේ සඳහා තෝරාගත හැක. යල් කන්නයේ වගාවට කිහිප වතාවක් ජලසම්පාදනය කළ යුතු වනු ඇති අතර කෙටි කලකින් (දින 100 කින්) අස්වනු ලබාදෙන අරුණ ප්‍රභේදය මේ සඳහා විශේෂයෙන් නිර්දේශිතය.

බිම් සැකසීම
සෙන්ටිමීටර් 20 - 25 ක් පමණ වත් ගැඹුරට පස පෙරළා හොදින් කැට පොඩිකර ගත යුතුවේ. පස හොදින් මට්ටම් කර නොගතහොත් බීජ පැලවීම ඒකාකාරව සිදු නොවේ. හෙක්ටෙයාරයකට ටොන් 10 ක් පමණ කාබනික පොහොර භාවිතා කළ හැකි නම් ලබාගත හැකි අස්වනු ඉතා ඉහළ මට්ටමකට ගෙනආ හැක. කාබනික පොහොර හා මූලික පොහොර අවසාන බිම් සැකැස්මත් සමග පසට කළවම් කරන්න. මහ කන්නයේ අධිකව වැසි ලැබෙන කාලයේ උල්දිය ඇතිවන ගොඩ ඉඩම් වල වගාකරන්නේ නම් එම ස්ථාන වල බිම් සැකසීම ඉතා හොදින් සිදුකර ජලය බැස යනසේ සකස් කරගත යුතුය. ඒ සඳහා ප්‍රමාණවත් අයුරින් ජල බස්නා කාණු යෙදීම අත්‍යවශ්‍යය. ජල සම්පාදන පහසුකම් ලබාදිය හැකි නම් සෙන්ටි මීටර් 60 ක පරතරයට ඇලි සහ වැටි සකස් කර ගැනීමෙන් වගාව වඩාත් සාර්ථකවේ.

කුඹුරු ඉඩම් වගාව සඳහා සකස්කර ගැනීමේදී ලියද්දෙහි නියරට ආසන්නව ඊට සමාන්තරව සෙන්ටි මීටර් 15 ක් පමණ ගැඹුරට කිවුල් කානුවක් සකස් කරන්න. පසේ ජලය රදාසිටීමේ තත්වය අනුව ලියැද්ද මැද උස් පාත්ති ක්‍රමයට සමාන ගැඹුරින් කානු පද්ධතියක් සකස් කිරීම අවශ්‍ය අතර සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 90 පමණ පාත්ති සැකසීම යෝග්‍යය. අතිරේක ජල සම්පාදනය සඳහා සහ වැඩි ජල බැස්වීම සඳහා සෙන්ටි මීටර් 30 පමණ ගැඹුරු කාණුවක් සෑම ලියැද්දකක් මැදින්ම සාදා ඊලග ලියැද්දට සම්භන්ධ කළ යුතුය. කුඹුරු ඉඩම්වල සෙන්ටි මීටර් 60 ක පරතරයකට ඇලි සහ වැටි ක්‍රමයට වගා කිරීම වඩාත් සාර්ථකය.

බීජ අවශ්‍යතාවය
නිර්දේශිත විවෘත පරාගනය වන ප්‍රභේද වල බීජ කිලෝ ග්‍රෑම් 15 - 20 ක් ද ආනයනිත දෙමුහුම් වර්ග වල බීජ කිලෝ ග්‍රෑම් 12 - 13ක් ද හෙක්ටයාරයක් සඳහා ප්‍රමානවත් වේ.

පරතරය
වැඩිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා හෙක්ටෙයාරයකට පැල 55,000 ගහනයක් පවත්වාගත යුතුය. ඒ අනුව සෙන්ටි මීටර් 60 x 60 (2 x 2) එක් ස්ථානයකට පැල 2 බැගින් පිහිටුවීම, යන පරතරය හෝ

සෙන්ටිමීටර් 60 x 30 (අඩි 2 x 1) එක් ස්ථානයක එක් පැලයක් පමණක් පිහිටුවීම, යන පරතරයන් නිර්දේශිතය. තද සුලං පවතින ප්‍රදේශ වල සහ බීජ නිපදවීම සඳහා වගා කෙරෙන විටදී පරාගය වඩාත් සාර්ථක වීම සඳහා එකතැන පැල 2 ක් සිටුවීමේ නිර්දේශය අනුගමනය කිරීම වඩාත් සුදුසුය.

සිටුවීම
නැගෙනහිර - බටහිර දිශාවට පේලි පිහිටුවීම සුදුසුය. දේශීය බීජ සිටුවන අවස්ථාවලදී සෙන්ටි මීටර් 60 x 60 පරතරයට එක් ස්ථානයට පැල 2 ක් ලබාගැනීම සඳහා බීජ 4ක් ද, සෙන්ටි මීටර් 60 x 30 පරතරයට එක් ස්ථානයක එක් පැලයක් ලබාගැනීම සඳහා බීජ 2ක් ද සිටුවා සති 2කට පසු නියමිත පැල සංඛ්‍යාව පමණක් ඉතිරි කර සෙසු පැල ගලවා ඉවත්කිරීම අවශ්‍යය. පැල තුනී කිරීම බීජ සිටුවා සති 2 - 3 අතර නිමා කළ යුතු අතර සමහර ස්ථාන වල බීජ පැලවී නොමැති අවස්ථා දක්නට ලැබුනොත් එම ස්ථානය වටා පිහිටි ස්ථානවල නියමිත පැල ගනනට වඩා පැල 1 ක් හෝ 2ක් ඉතිරි කිරීම යෝග්‍යය. සෙන්ටි මීටර් 3ක් පමණ ගැඹුරකින් බීජ සිටුවීම සුදුසුය. සිටුවන බීජ මූලික පොහොර කෙළින්ම ස්පර්ශ වුවහොත් ඒවා පැල නොවන බැවින් ඒ පිළිබදවද දැඩි සැලකිල්ලක් දැක්වීමක් අවශ්‍යය.

පොහොර භාවිතය
වගා ක්‍රමයමුලික පොහොර හෙ./ කි.ග්‍රෑ

යූරියාටී.එස්.පීඑම්.ඕ.පී
1 අහස් දියෙන් මහ කන්නයේ වගාව7510050
2 ජල සම්පාදනය සහිත වගාව7510050

මුලික පොහොර සිටුවා සත 4 කින්, හෙ./ කි.ග්‍රෑ
1 අහස් දියෙන් මහ කන්නයේ වගාව140--
2 ජල සම්පාදනය සහිත වගාව250--

මුලික පොහොර
අවසාන බිම් සැකැස්මත් සමගම යුරියා කිලෝ ග්‍රෑම් 75, පොස්පරස් සහ පොටෑෂ් සම්පූර්ණ ප්‍රමාණයම හොදින් මිශ්‍රකර පසට කළවම් කළ යුතුය. වලවල් වලට පොහොර යොදන්නේ නම් බීජ සිටුවීමට දින 2 - 3 කට පෙර නියමිත පොහොර ප්‍රමාණය යොදා ඒවා පස සමග හොදින් කළවම් කළ යුතුය. පොහොර යොදන අවස්ථාවේ පසෙහි ප්‍රමාණවත් තෙතමනයක් පැවතීම අවශ්‍යය.

මතුපිට පොහොර
බීජ සිටුවා සති 4 ක් ගතවු පසු පැල වල පාදස්ථයේ සිට සෙන්ටි මීටර් 15 ක් පමණ දුරින් මතුපිට පොහොර යොදා පසට කළවම් කර පැල මුලට පස් ලං කරන්න. ඇලි සහ වැටි ක්‍රමයට සිටුවා ඇත්නම් ඇලියට පොහොර යොදා උදැල්ලකින් වැටියට පස් ලං කරන්න. සාමාන්‍යයෙන් මෙම අවස්ථාව වන විට පැල වල උස දණහිස් මට්ටම දක්වා පැමිණ ඇත. බීජ පැලවල පත්‍රවල වර්නය තද කොළ පැහැයෙන් යුතුව පැවතී නම් පැල වල පිරිමි මල් එළියට එන අවස්ථාව නිරීක්ෂණය කර එම අවස්ථාවේ මතුපිට පොහොර යෙදීම වඩාත් ඵලදායී විය හැක.

ජල සම්පාදනය
ඒකාකාරීම ජල සම්පාදනය කිරීම බීජ ප්‍රරෝහණය එකවර සිදුවීමට ආධාර වන අතර එමගින් ඒකාකාරී වගාවක් පවත්වා ගැනීමට හැකි වේ. බීජ සිටුවා මසක් ගතවන තෙක් (වර්ෂාව නොලැබේ නම්) සතියකට දෙවතාවක් ජලය සැපයීම සුදුසුය. ඉන් පසුව දින 7 කට වඩා වැඩි වියළි කාලයක් පවතී නම් පසේ තෙතමන තත්වය පරික්ෂාකර ජල සම්පාදනය කිරීම අවශ්‍යය. සාමාන්‍යයෙන් සතියකට වතාවක් සෙන්ටිමීටර් 20 ක් පමණ ගැඹුරට පස තෙත් වන සේ ජලය සැපයීම ප්‍රමාණවත්ය.

වල් පැලෑටි මර්ධනය

වගාවේ මුල් සති 6 - 7 අතර කාලය තුල ‍ක්ෂේත්‍රයේ වල් පැලෑටි පාලය පිළිබදව වැඩි අවදානයක් යොමුකළ යුතු අතර නැතහොත් එය අස්වැන්න විශාල වශයෙන් අඩු වීමට හේතුවිය හැක. ක්‍රමවත්ව බිම් සැකසීම සිදුකර පසුව බීජ සිටුවා සති 2 කදී සහ සති 4 දී උදළු භාවිතා කොට වල් පැලෑටි විනාශ කිරීම ප්‍රමාණවත්ය.

කෘමි සහ රෝග පාලනය
පුරුක් පනුවා - කයිලෝ පාටෙලස්
පරිසර උෂ්ණත්වය අධික යල් කන්නයේ ජුනි, ජුලි සහ අගෝස්තු කාලවල බඩඉරිගු වගා කලවිට මෙම කෘමි හානිය තදින් ඇතිවීමට ඉඩ ඇත. මෙම දළඹුවා ළපටි බඩඉරිගු පැලවල කදට හානි කිරීම නිසා මැද ගොබය මැරී යෑමෙන් මල හදවත නමින් හැදින්වෙන තත්වය ඇති වේ. ඩටසිනෝන් 5% කැට හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 10 - 15 යෙදීමත් මගින් මෙම කෘමි හානිය සාර්ථකව පාලනය කල හැකිය. අත්වැසුමක් භාවිතා කර හෝ සිදුරු සහිත ටින් එකකට දමා මෙම කැට ස්වල්පය බැගින් පැලවල ගොබයට වැටෙන සේ දැමීම වඩාත් සුදුසු වියදම අඩු ක්‍රමයකි.

අස්වැන්න නෙලීම
කිරි ඉරිගු

අරුණ ප්‍රභේදයේ අස්වැන්න දින 65 කදී ද, අනෙකුත් නිර්දේශිත ‍ප්‍රභේද ‍වල අස්වැන්න දින 75 කදී ද (කරල් හට ගෙන සති 4 - 5 ඉකුත් වූ විට) සාමාන්‍යයෙන් ලබාගත හැක.

ධාන්‍ය
බෝගය මෝරා ඇති අවස්ථාවේ එලබෙනවිට කරල්වල කොපුව කහපැහැ ගැන්වී වියලී යාමට පටන් ගනී. කරලෙන් බීජ වෙන්කර නිරීක්ෂණය කළ හොත් ඒවායේ කරලට සම්භන්ධ වන ස්ථානයේ කළුපැහැ ස්ථරයක් දැකිය හැක. බීජ දතින් සැපූ විට කැඩී යයි. සාමාන්‍යයෙන් බීජවල තෙතමනය 30 % පමණ ඇත. මෙම අවස්ථාවේ අස්වැන්න නෙලා ඉක්මනින් වියලා ගත හොත් එම බීජවල ගුණාත්මය ඉතා ඉහළ මට්ටමක පවතී.

වියලීම
වියලි කාලගුණයක් පවතීනම්, නෙලාගන්නා කරල් බිම නොදමා පැදුරු හෝ සුදුසු ඇතිරිල්ලක් මත දමා හෝ ලීවල එල්ලා දින 2 - 3 ක් අවුවේ වියලා ගැනීමෙන් තෙතමන ප්‍රතිශතය 12% - 14% දක්වා අඩුකරගත හැක. බීජ කරලින් වෙන් කරගැනීම සඳහා සුදුසුම ක්‍රමය වනනේ බහුබෝග කොලමඩින යනුත්‍රයක් භාවිතා කිරීමයි. ට්‍රැක්ටරයකට සම්භන්ධ කළහැකි මෙවැනි යන්ත්‍රයකින් පැයකට ටොන් 1 පමණ බීජ වෙන්කරගත හැක. ගෝනිවල දමා මුගුරු වලින් තැලීම සහ ට්‍රැක්ටර් යොදා පෑගීම කරන විට ධාන්‍ය පිපිරී ගුණාත්මය අඩුවිය හැක. ධාන්‍ය ඇසුරූ මළු හොඳ වාත සංසරණයක් පවතින පරිදි වියලි ස්ථානයක බිම සිට සෙන්ටිමීටර් 30 ක් පමණ උසින් ගබඩා කිරීම සුදුසුය.
Share on Google Plus

About TRB Blogger

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment